නිරෝගීව සිටින්න ගෙදරදීම හදාගන්න පුලුවන් Juice වර්ග 10ක්


 මේ දිනවල අපට අත්විදීමට සිදුව ඇත්තේ ගත දහඩියෙන් පිරී යන උණුසුම් කාලගුණ තත්වයකටය. වෙහෙසුනු ගතට බීම වීදුරුවක් කෙතරම් සුවයක් ගෙනදේද. ඒ බීම වීදුරුව ස්වභාවික පළතුරකින් සැකසූවක් නම් ඒ සිසිලස ආශ්වාදය කෙතරම්ද.

ගුණදායක දේශීය පළතුරු හෝ එළවලු යොදාගෙන සකසා ගන්නා බීම වර්ග තුළින් රෝග වලින් තොර සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ඔබට උදා කරයි. සිරුරට අහිතකර කෘතිම බීම වර්ග පානයෙන් වැලකී අපේ රටේ ගහකොළවල වැවෙන මල්, කොළ, ගෙඩිවලින් සැකසූ පාන වර්ග වලින් ඔබගේ මුදල් ඉතිරියත්, ශරීරයේ ප්‍රතිශක්තිය හා රෝග සුව කර ගැනීම හා පෝෂණ වර්ග හා විටමින් වර්ග රාශියක් ලබාගැනීමටත් හැකිවේවි.

මේ ඔබට පහසුවෙන් සොයාගත හැකි පළතුරු, එළවලු වලින් සකසා ගත හැකි බීම වර්ග කිහිපයකි.

 

01. බෙලි බීම


ඉදුණු බෙලිවල ඇට ඉවත් කර එයට සීනි අවශ්‍ය නම් එළකිරි එක්කර බ්ලෙන්ඩ් කර අවශ්‍ය පමණට ලුණු දමා ශීතකර හෝ අයිස් කැට දමා බීමට ගන්න.

ගුණ – මල බද්ධය නැති කරයි
සිරුරේ දැවිල්ල, පිපාසය නැති කරයි.
ග්‍රහනි, අන්ත්‍ර රෝගවලට හිතකරයි.

 

02. සියඹලා බීම

හොදින් ඉදුණු සියඹලා සෝදා ඇට ඉවත් කර හොදින් පොඩිකර අවශ්‍ය පමණ වතුර දමා පෙරාගෙන ලුණු, සීනි හා කුරුදු කුඩු ස්වල්පයක් දමා ශීතකර හෝ අයිස් කැට දමා බීමට ගන්න.

ගුණ – ආහාරවල යකඩ හොදින් සිරුරට අවශෝෂණය කරයි.
ආහාර රුචිය වඩවයි.
පිපාසය දාහය නැති කරයි.

 

03. වෙරළු බීම


හොදට ඉදුණු වෙරළු හොදින් පොඩිකර ඇට ඉවත් කර වතුර දමා පෙරා දෙහි, ලුණු, සීනි එක්කර ශීතකර හෝ අයිස් කැට දමා බීමට ගන්න.

ගුණ – ආහාර රුචිය ඇති කරයි.
දියවැඩියා රෝගීන්ට සීනි නොමැතිව බීම සුදුසුය.
අක්මා, අමාශ රෝගවලට හිතකරයි.

 

04. කෝමාරිකා බීම

කෝමාරිකා පිත්තක් ගෙන කොලපැහැති පිට පොත්ත හොදින් ඉවත් කර ජෙලි වැනි කොටස හොදින් සෝදා කැබලිවලට කපා බ්ලෙන්ඩ් කර අවශ්‍ය පමණට ජලය දමා සීනි, ලුණු, දෙහි ඇඹුල් මිශ්‍ර කර ශීතකර හෝ අයිස් කැට දමා බීමට ගන්න.

ගුණ – අම්ල පිත්ත (ගෑස්ට්‍රයිටීස්) වලට ඉතා ගුණය
ශරීර දාහය පිපාසය නැති කරයි
උණට, මුත්‍රා නොයාමට, අත්මා රෝගවලට හිතකරය.

 

05. අමු අඹ බීම

අමු අඹවල පොතු ඉවත් කර කැබලිවලට කපා ඇට ඉවත් කර බ්ලෙන්ඩ් කර පෙරා අවශ්‍ය පමණ වතුර දමා සීනි, ලුණු, ගම්මිරිස් කුඩු දමා ශීතකර හෝ අයිස් කැට දමා බීමට ගන්න.

ගුණ – ආහාර රුචිය ඇති කරයි
සිරුරේ දැවිල්ල නැති කරයි
දියවැඩියා රෝගීන්ට සීනි නැතිව බීම හොදයි.

 

06. කාමරංගා බීම


හොදින් පැසුණු කාමරංගා ගෙඩිගෙන දාර ඉවත් කර කැබලිවලට කපා බ්ලෙන්ඩ් කර අවශ්‍ය පමණට වතුර දමා පෙරා ගෙන සීනි, ලුණු, දෙහි ඇඹුල් මිශ්‍ර කර ශීතකර හෝ අයිස් කැට දමා බීමට ගන්න.

ගුණ – උණට සිරුරේ දැවිල්ලට හිතකරයි
පිපාසයට අග්‍ර ඖෂධයකි
කෑම අරුචියට, බඩගින්න අඩුකමට හිතකරයි.

 

07. අනෝදා බීම


හොදින් ඉදුණු අනෝදා ගෙඩියේ පොතු හා ඇට ඉවත් කර බ්ලෙන්ඩ් කර අවශ්‍ය පමණට ජලය දමා සීනි, ලුණු, දෙහි ඇඹුල් දමා ශීතකර හෝ අයිස් කැට දමා බීමට ගන්න.

ගුණ – මල බද්ධය නැති කරයි
සිරුරේ දැවිල්ල, පිපාසය අඩු කරයි.
අධි රුධිර පීඩන හා හෘද රෝගීන්ට හිතකරයි.

 

08. පේර බීම


පේර මදය බ්ලෙන්ඩ් කර අවශ්‍ය පමණට වතුර දමා පෙරා ගෙන දමා ශීතකර හෝ අයිස් කැට දමා බීමට ගන්න.

ගුණ – ආහාර අරුචිය නැති කරයි.
රක්තවාතයට හිතකරයි
හෘද රෝගවලටද හිතකරය

 

09. වදමල් බීම


රතු පොකුරු වදමල්වලට උණුවතුර දමා ගත්විට එම මල් සුදු පැහැවන විට ඉවත් කර එම ජලය නිවාගෙන හෝ රස්නයෙන් පානය කළ හැක. මෙම ජලය නිවා ශීතකරණයේ තබා අවශ්‍ය විටෙක සීනි, ලුණු දමා අවශ්‍ය පමණට දෙහි යුෂද දමා ශීතකර හෝ අයිස් කැට දමා බීමට ගන්න.

ගුණ – රත්පිත් හා අම්ල පිත්ත රෝග (ගෑස්ට්‍රයිටීස්) වලට හිතකරයි.
ළදරුවන්ගේ රතරෝග, බිබිලි හා සමේ රෝගවලට ගුණදායකය.

 

10. කොමඩු බීම


කොමඩු වල පොතු ඉවත් කර ඇට ඇතිව හෝ නැතිව හොදින් බ්ලෙන්ඩ් කර අවශ්‍ය පමණට වතුර දමා පෙරා සීනි, ලුණු, දෙහි යුෂ දමා ශීතකර හෝ අයිස් කැට දමා බීමට ගන්න.

ගුණ – වකුගඩු රෝගීන්ට ඉතාමත් ගුණ බීමකි
ශරීර දාහය, පිපාසය නැති කරයි.
මුත්‍රා දැවිල්ල, මුත්‍රා පිරිසිදු කිරීම හා මුත්‍රා ගල් ඇති රෝගවලට හිතකරයි

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්